දත්ත සහිත හැදුනුම්පත් ගැන තිරණය ගැනිමේ බලය ඉන්දියාවට පුජා කරලා..
ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ අනාවරණය කරයි.
අද (අප්‍රේල් 30) ධීවර අමාත්‍යංශය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
ඉන්දියාවට අපේ දත්ත සොරකම් කරගෙන, ඒ හරහා අපව පාලනයට ලක් කරන්න අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව පනින රිළවුන්ට ඉණිමං බඳිනවා වගේ අපේ ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කරලා. 2012 වසරේ සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් සඳහා ව්‍යපෘතියක් ආරම්භ වුණා. මේ වනවිට රුපියල් බිලියන 5.6ක් වියදම් කරලා ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කරලා අවසන්. තව රුපියල් මිලියන 600කින් පමණ එය අවසන් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දාලා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට සම්බන්ධ කරන්න ගෝඨාභය රාජපක්ෂ 2021දී පියවර ගත්තා. එහිදී ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය. ඒ සඳහා ඉල්ලුම්කළ සමාගම් සුදුසුකම් සැපිරීම තහවුරු කිරීමට අසමත්වීම නිසා එම ප්රයත්නය තාවකාලිකව වැලකුණා. පසුව 2023දී රනිල් වික්‍රමසිංහ ටෙන්ඩර් කැඳවීමක් කරලා සුරා බදු වංචාවකට සම්බන්ධ නිසා අසාදු ලේඛනගත කරනු ලැබූ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ,සමාගමට දෙන්න උත්සහ කළා. සමාජ විරෝධය නිසා එය වැලකුණා. නමුත් එවරත් ටෙන්ඩරය කැඳවූයේ ලංකාවේ රජය.
අනුර දිසානායක ජනාධිපති වු පසුව 2025 ජනවාරි ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන්නා. ඒ කළ බරපතළ වැරැද්ද නිසා අපට මේ සම්බන්ධ කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැති වුණා. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබුණා. නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වෙලා. ඒ ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් වන මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම. ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයි? ජනාධිපතිතුමා මේ ගැන වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලංකාව ඉන්දියාවේ රූකඩ රාජ්‍යයක් හෝ ප්‍රාන්තයක් නෙවෙයි. මේ ආකාරයට ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සහ ලංකාවේ දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ.