ඩුබායි හීනය නැවත කියවිම:කම්කරැ අයිතිවාසිකම් කතා බහට..


ශ්‍රී ලංකාවේ විදේශගත වීම අද ජීවිත නගාලීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස පෙනී යයි. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්,විශේෂයෙන් එක්සත් අරාබි එමීරේට්ස් පිළිබඳ සමාජයේ නිර්මාණය වී ඇති “ඩුබායි හීනය” සාර්ථකත්වය, සම්පත්, සහ සුවපහසු ජීවිතයක් ලෙස විස්තර කෙරේ. නමුත් එම නිරූපණය ඇතුළේ සැඟවුණු කම්කරු ජීවිත පිළිබඳ කතාබහ සමාජයේ ප්‍රමාණවත් ලෙස සිදු නොවේ.
විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන්, විශේෂයෙන් ගෘහ සේවා ක්ෂේත්‍රයේ සේවයේ යෙදෙන කාන්තාවන්, දෛනිකව මුහුණ දෙන වැඩබර සහ සීමාගත අයිතිවාසිකම් පිළිබඳ ගැටලු අඛණ්ඩව වාර්තා වෙමින් පවතී. දිනකට පැය 12–15ක් පමණ දිගු වැඩ වේලාවන්, සතියකට නිවාඩු දින නොලැබීම හෝ මාසිකව පමණක් සීමිත නිවාඩුවක් ලබාදීම, සහ ලිඛිත ගිවිසුම් නොමැති සේවා තත්ත්වයන් මේ අතර ප්‍රධාන වේ.
මෙම තත්ත්වයන් තුළ විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය හා ඒවා ආරක්ෂා කිරීම සඳහා ඇති යාන්ත්‍රණවල දුර්වලතාවයයි. බොහෝ අවස්ථාවල සේවකයින්ට තමන්ට හිමි නීතිමය ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවයක් නොමැති අතර, එය ඔවුන්ගේ වැඩබර තත්ත්වයන් තවදුරටත් අසුරා දමයි.
ඊට අමතරව, පෞද්ගලික ලේඛන, විශේෂයෙන්ම විදේශ ගමන් බලපත්‍රය, සේවාදායකයා විසින් තබා ගැනීම වැනි ක්‍රියාමාර්ගද වාර්තා වේ. එවැනි තත්ත්වයන් සේවකයින්ගේ ගමන් කිරීමේ නිදහස සහ ස්වයං තීරණ ගැනීමේ හැකියාව සීමා කරයි.
එසේම, සමාජ මාධ්‍ය හරහා ගොඩනගා ඇති විදේශ ජීවිතයේ චිත්‍රය සහ සැබෑ ජීවිත තත්ත්වයන් අතර තියෙන විශාල පරතරයද අවධානයට ගත යුතුය. “සාර්ථක විදේශ ජීවිතය” ලෙස පෙන්වෙන රූපයට යටින්, කම්කරු ජීවිතයේ අසමතුලිත බල සබඳතා, ආර්ථික පීඩනය, සහ සමාජ ආරක්ෂණ හිඟය පැහැදිලිව දක්නට ලැබේ.
මෙවැනි පසුබිමක, විදේශගත කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, විදේශ සේවා නියෝජිත ආයතන, සහ ගමනාන්ත රටවල නීතිමය යාන්ත්‍රණ අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරම, විදේශගත වීමට පෙර දැනුවත් කිරීම, නීතිමය ආරක්ෂාව පිළිබඳ පැහැදිලි කිරීම, සහ සේවා තත්ත්වයන් පිළිබඳ සම්මත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමද ප්‍රමුඛත්වය ලබා ගත යුතු කරුණු වේ.
“ඩුබායි හීනය” යන සංකල්පය අද යළි සමාලෝචනයට ලක්විය යුතුය. විදේශගත වීම සාර්ථකත්වයේ සංකේතයක් ලෙස පමණක් ඉදිරිපත් කරන සමාජය, ඒ සාර්ථකත්වය නිර්මාණය කරන කම්කරු ජීවිතවල යථාර්ථය ගැන නිහඬව සිටීම ප්‍රශ්නගත ය.
කම්කරු අයිතිවාසිකම් යනු දායකත්වයක් නොව, මූලික අයිතියකි. ඒවා ආරක්ෂා කිරීම රටවල් අතර ගිවිසුම්වලින් පමණක් නොව, සමාජයේ සදාචාරාත්මක වගකීමක් ලෙසද සැලකිය යුතුය.
එම නිසා, විදේශගත කම්කරුවන් පිළිබඳ කතාබහ සංවේදී කථාවක් ලෙස නොව, අයිතිවාසිකම්, ගෞරවය සහ සාධාරණත්වය පිළිබඳ රාජ්‍ය-සමාජ වගකීමක් ලෙස ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍යය.

-ඉරේෂා එම් යාපා (මාර්තා) –

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *