මේ ආණ්ඩුව බලයට ගෙනාවේ නිදහස ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙනයි !
දීපචෙල්වන්ගේ පොත් අත්අඩංගුවට ගැනීම සහ ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද ( 2026. 04. 24 ) දින පස්වරු 12.00ට නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි
" ජනතාව මේ ආණ්ඩුව බලයට ගෙනාවේ නිදහස ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙන. ජනතාව හිතුවා මේ පීඩාකාරී ආර්ථික ක්‍රමයෙන් තමන්ව මුදවාගන්න ආණ්ඩුව මැදිහත් වෙයි කියලා. නමුත් අපිට පේනවා දැන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම හිටගෙන ඉන්නේ ජනතාවට සතුරු පැත්තේ. නවලිබරල් ධනකුවේරයෝ එක්ක එකතුවෙලා ආණ්ඩුව ජනතාවට විරුද්ධව විශාල ප්‍රහාරයක් දියත් කරලා ඉවරයි.
එහෙම වෙලාවක තමයි අනිත් පැත්තෙන් ජනතාවගේ භාෂණයේ නිදහසටත් වට බඳින්න ආණ්ඩුව සූදානම් වෙන්නේ. එහි ආසන්නම සිද්ධිය තමයි දීපචෙල්වම්ගේ කෘති රේගුව මගින් රඳවා ගැනීම. මිලිටරියට එහෙම කොහොමද අයිතියක් තියෙන්නේ සාහිත්‍යය කෘතියක් ගැන තීරණ ගන්න ? දැන් ආණ්ඩුව උත්සහ කරනවා මේක ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් කියලා යට ගහන්න. හැබැයි අපි දන්නවා දීපචෙල්වන් කියන්නේ විශිෂ්ට සාහිත්‍යවේදියෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ආණ්ඩුව මේ උත්සහ කරන්නේ ප්‍රශ්න අහන මිනිස්සුන්ගේ කටවල් වහන්න. අපි දැක්කා කන්ටේනර් පෙට්ටි 323ක් පහුගිය කාලේ කිසිඳු පරීක්ෂාවක් නැතුව රේගුවෙන් එළියට පැනපු හැටි. ඒ කාරණය ගැන අදටත් විධිමත් පරීක්ෂණයක් වුණේ නැහැ. එහෙම වැඩ කරපු ආණ්ඩුවක් තමයි කිසිම ලැජ්ජාවක් නැතුව දීපචෙල්වන්ගේ පෑන මර්දනය කරන්න සූදානම් වෙන්නේ.
මෙතන තියෙන කණගාටුදායකම කාරණය තමයි දකුණේ සමහර ජනතාවාදී කියාගෙන හිටපු සාහිත්‍යවේදීන් පවා ආණ්ඩුවේ මේ නීච ක්‍රියාවට එරෙහිව කිසිඳු හඬක් නගන්නෑ. ජයතිලක කම්මැලිවීර, සුනිල් විජේසිරිවර්ධන වගේ අය දීපචෙල්වන්ගේ ප්‍රශ්නය ගැන කරපු ප්‍රකාශ දිහා බැලුවම ඇත්තටම ඇතිවෙන්නේ ලැජ්ජාවක්. ආණ්ඩුවක් වෙනුවෙන් තමන්ගේ සාහිත්‍ය මතවාද මෙහෙම පාවාදෙන්න කෙනෙක්ට පුලුවන් ද ? කියන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් අහන්න කැමතියි.
තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න ඕනෑම පුද්ගලයෙක්ට අයිතියක් තියනවා. ඒ අයිතිය උතුරේ මිනිස්සුන්ටත් ලැබිය යුතුයි. ඒ අයිතියට ඉස්සර ඉඳන් වැට බැඳපු නිසා තමයි අපිට අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කන්න වුණේ. මොකද ඒ මිනිස්සු නැගී හිටියේ තමන්ගේ පීඩනයට එරෙහිව. ඒ යුද්ධයේ තුවාල තවම සුවවෙලා නැහැ. ආණ්ඩුව දැන් උත්සහ කරන්නේ තුවාල ආයෙමත් පාරන්න. හැබැයි අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. දීපචෙල්වන් වේවා වෙනයම් ලේඛකයෙක් වේවා ඒ සියලුදෙනාගේම භාෂණයේ නිදහස වෙනුවෙන් අපි හිටගන්නවා. "