මැදපෙරදිග ගිනිදැල් සහ අපේ මුළුතැන්ගෙයි අර්බුදය හෙට දවසට අප සූදානම්ද?


​ලෝක දේශපාලන කරළියේ ඉරානය සහ ඊශ්‍රායලය අතර හුවමාරු වන මිසයිල ප්‍රහාර දෙස ඇතැමුන් බලන්නේ රූපවාහිනී තිරයක දිගහැරෙන ක්‍රියාදාම චිත්‍රපටයක් දෙස බලන අයුරිනි. ඇතැමෙක් ඇමරිකානු පිල හෝ ඉරාන පිල වෙනුවෙන් පෙනී සිටිමින් ජයගෝෂා නගති. එහෙත් සැබෑ යථාර්ථය නම්, මැදපෙරදිගින් නැගෙන දුමාරය මේ වන විටත් සාමාන්‍ය ලාංකිකයාගේ ‘පොකට්ටුවට’ රිංගා අවසන් බවයි. මෙය තවත් එක් කලාපීය යුද්ධයක් නොව, බිඳවැටුණු ආර්ථිකයක් හිමි අප වැනි රටවල් ප්‍රපාතයටම ඇද දැමිය හැකි මහා ගෝලීය කම්පනයකි.
​ඉරානයේ දැවැන්ත තෙල් ගබඩා සහ පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හුදෙක් මිලිටරි ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් දුටුවද, එය සමස්ත ලෝක ජනතාවටම එල්ල කළ ප්‍රහාරයකි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම යනු හුදෙක් ඉන්ධන මිල වැඩිවීම පමණක් නොවේ. තාප විදුලි උත්පාදනයට වැයවන පිරිවැය ඉහළ යාමත් සමඟ හෙට දවසේ ඔබේ විදුලි බිල දෙගුණ තෙගුණ වීමේ අවදානමක් පවතී.
භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යනු ඇත.
​ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටකට මැදපෙරදිග අස්ථාවරත්වය මාරාන්තික විය හැකිය. අප පරිභෝජනය කරන පරිප්පු, ලූනු, සීනි සහ තිරිඟු පිටි වැනි ද්‍රව්‍ය රැගෙන එන නෞකා මාර්ග යුද කලාපයක් බවට පත්වීමෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ රුපියල් දහසකට තිබූ බඩු මල්ලට රුපියල් දෙදහසක් ගෙවීමට සිදුවීමයි.
​මෙය තාක්ෂණික වශයෙන් තුන්වන ලෝක යුද්ධයක් ලෙස නම් නොකළද, එහි ආර්ථික බලපෑම ලෝක යුද්ධයකට සමානය. ඉරානයේ ආධ්‍යාත්මික නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ඝාතන දේශපාලනික වශයෙන් “වීරත්වයක්” ලෙස ඇතැමුන් දුටුවද, එමඟින් නිර්මාණය වන අස්ථාවරත්වය වසර ගණනාවකට ලෝකය ආපස්සට ඇද දමනු ඇත. රජයකට පමණක් තනිව මෙවැනි ගෝලීය අර්බුදයකට මුහුණ දිය නොහැක.
​”කකුළුවා නටන්නේ වතුර රත් වන තුරු පමණි” යන කියමන අද අපට අතිශය අදාළය. යුද පුවත් බලමින් පක්ෂග්‍රාහීව තර්ක කරනු වෙනුවට, බුද්ධිමත් ලාංකිකයා දැන් කළ යුත්තේ ඉදිරි අසීරු කාලයට සූදානම් වීමයි:
මල් පෝච්චියක වුවද මිරිස් ගසක්, බටු පැළයක් වවා ගන්න. එහි වටිනාකම දැනෙන්නේ එය ඔබට අවශ්‍යම විටක ප්‍රයෝජනවත් වන විටදිය.
වත්තේ තිබෙන කොස් ගෙඩිය, දෙල් ගෙඩිය නාස්ති නොකර වියළා කල් තබා ගන්න . මෙය නුදුරේදී එන අර්බුදයට පිළියමක් වන්නට පුලූවන්.
ගෑස් මිල ඉහළ යාමට පෙර විකල්ප ලෙස දර ලිපක් හෝ සකසුරුවම් ක්‍රම පිළිබඳ අවධානය යොමු කරන්න.
අනවශ්‍ය උත්සව හෝ නාස්තිකාර වියදම් පසෙක තබා, ඉදිරි වසර දෙක තුන වෙනුවෙන් මුදල් සහ ආහාර සුරක්ෂිත කර ගන්න.
​මැදපෙරදිග යුද්ධය හෙට නතර වුවද, ඉන් සිදුවූ හානිය යථා තත්ත්වයට පත්වීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. ලෝක බලවතුන්ගේ යුද පිපාසය හමුවේ අසරණ වන අප වැනි ජාතීන්ට, මේ මොහොතේ ඇති එකම ගැලවුම් මාර්ගය වන්නේ සංයමය, සකසුරුවම සහ ස්වයංපෝෂිත වීම පමණි. පුවත්පත් වාර්තා දෙස බලා හුදෙක් කම්පා නොවී, ක්‍රියාත්මක වීමට කාලය එළඹ ඇත!

අනුර වීරකෝන්
ඕමානයේ සිට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *