බාල ගල්අගුරැ නිසා සිදුවු අලාභය මිලියන 7672.1 ක්..

පෙබරවාරි 26 නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍ය අමතා එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මතුකළ අදහස්

ආණ්ඩුව ඉතිහාසයේ ගල් අඟුරු ටෙන්ඩරයකින් තොරව ලබාදී ඇති බවට චෝදනා කළත් එය වැරදියි. 2022දීත්, 2023දීත්, 2024දීත් ටෙන්ඩර් කැඳෙව්වා. ඒ ටෙන්ඩර් දැන්වීම් අප ළඟ තිබෙනවා. 2022දී ටෙන්ඩරය ගත්තේ බ්ලැක් සෑන්ඩ් සමාගම. ඔවුන් මගදී එයින් ඉවත් වුණාම කොරල් එනර්ජි සමාගම සැපයුම භාර ගත්තා. 2023දී ටෙන්ඩරය කොරල් එනර්ජි සමාගම දිනලා ඔවුන්ට සැපයුම නිසි පරිදි කරගත නොහැකිවූ නිසා නැවත ටෙන්ඩරයක් කැඳවා එය බ්ලැක් සෑන්ඩ් සමාගම දිනුවා. 2024 ජනවාරියේ එය රුසියානු සමාගමක් නිසා ජාත්‍යන්තර වාරණයක් ආවාම පොටෙන්ෂියා නම් සමාගම සැපයුම භාර ගත්තා. 2024 ජූලි මාසයේ ටෙන්ඩරය ස්විස් සිංගප්පූර් සමාගමට හිමිවුණත් ලියාපදිංචිය නැති නිසා ටෙන්ඩරයට ඉල්ලුම් නොකළ වර්තමාන සැපයුම්කරු ඊට වඩා අඩු මිලක් ඉදිරිපත් කළ නිසා එම සමාගමට සැපයුම දුන්නා ටෙන්ඩර් නොකැඳවූ බවට කරන ප්‍රකාශ වැරදියි. අර්බුද ඇතිවූ අවස්ථා වල කැබිනට් අනුකමිටු විසින් ඉදිරිපත් කළ යෝජනා නීතිපති අනුමැතිය සහිතව ක්‍රියාත්මක කිරීමක් සිදුව ඇත්තේ.
ඇතැම් අර්බුද හමුවේ එවැනි පියවර ගන්නවා. මේ ආණ්ඩුවත් ටෙන්ඩර් නොකැඳවා සේවා සපයා ගෙන තිබෙනවා. ගල් අඟුරු ආනයනය කලවිට ඒවා නැවේ සිට බත්තල් මගින් ගෙන එන්නේ ශ්‍රී ජී ෂිපිං කියන සමාගම. ඒ සමාගමට 2023දී වසර දෙකකට ටෙන්ඩරයක් අනුමත වී තිබුණා. මේ ආණ්ඩුව 2025 අප්‍රේල් මාසයේදී එම කාලය ඉකුත්වූ පසුව, අලුතෙන් ටෙන්ඩර නොකැඳවා එම සමාගමටම එම කාර්‍යය සැපයුවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම මොකක්ද?
දඩ අය කළ නිසා පාඩුවක් නෑ කියන කතාවත් වැරදියි. ලංකා විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ ක්‍රමෝපාය සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ බාල ගල් අඟුරු නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 7,672.1ක් ලෙස සඳහන් කර තිබෙනවා. ඒ අළු ප්‍රතිශතය වැඩි නිසා බොයිලේරු වලට වන හානිය සහ පාරිසරික හානිය ගණන් නොබැලූ තත්වයක් යටතේ. නමුත් පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සමස්ත දඩ මුදල ලෙස කීවේ රුපියල් මිලියන 1,290ක්. ඉතිරි රුපියල් කෝටි 630ක අලාභය අය කර ගන්නේ කොහොමද? එය විදුලි ගාස්තුවට එකතු කර ජනතාව මත පටවනවාද? මහජන බදු මුදලින් පියවනවාද? මේ පාඩුව සිදුකළ අයට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් අය කර ගන්නවාද? නැතිනම් බාල ගල් අඟුරු ගෙනා ඉන්දියානු සමාගමට නඩු පවරා වන්දියක් ලෙස ගන්නවාද? ආණ්ඩුව තමන්ගේ සැලසුම හෙළි කළ යුතුයි. අපි එහෙම කරයිද කියමින් සිටීම තේරුමක් නෑ. මේ බර ජනතාව මත පැටවීමට අපි ඉඩ දෙන්නේ නෑ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *