මේරටේ දේශපාලකයෝ උතුරට සැලකුවේ දෙවැනි කොටයි..
” මුල්ලිවෛක්කාල් වලින් ඉතිහාසය අවසන් ද ? ” මැයෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද ( 2026. 05. 16 ) දින සවස 3.30ට කොළඹ 08, සෙඩෙක් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමි.
” අද පාර්ලිමේන්තු පාරේ මම එනකොට දැක්කා යුද සැමරුම උත්සවාකාරයෙන් තියන්න පාලකයෝ සූදානම් වෙනවා. මෙතනින් ටිකා අතීතයට හැරිලා බැලුවොත් අපිට මතක් වෙන්නේ උතුරේ යුද්ධයට ගිය හමුදා සෙබළුන්ගේ මළසිරුරු පෙට්ටිවලි සිංහල ගම්මානවලට ආව විදිහ. එදා ඔවුන්ව ජාතික වීරයින් විදිහට තමයි සමාජය ඇතුළෙ පරිකල්පනය කරලා තිබුණේ. හැබැයි අපි දන්නවා උතුරේ යුද්ධයට ගිය තරුණ තරුණියෝ කවුරුවත් ජාතික වීරයෝ වෙන්න හිතාගෙන හමුදාවට බැඳුණේ නැහැ. මේ ආර්ථික ක්‍රමය විසින් දුප්පත්කම විසින් තමයි ඔවුන්ව ඒ තත්වයට ඇදලා දැම්මේ.
අපි දන්නවා ඇත්තටම මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ කිසිඳු මනුස්සයෙක්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ අනෙකාට විරුද්ධව ආයුධ අතට ගන්න. හැමෝම කැමති වුණේ මේ අපේ රට කියන්න. හැමෝටම අවශ්‍ය වුණේ මේ ගහකොළ මේ පොළොව සමානව භුක්ති විඳිමින් ජීවත් වෙන්න. හැබැයි එක පිරිසකට ඒ අයිතිය අහිම් වෙනවනම්, තවදුරත් මේ අපේ රට කියලා කියන්න බැරි තත්වයක් උදා වෙනවනම් ඔවුන්ට වෙන්නේ සඨන් කරන්න තමයි. අපි දන්න්වා පහුගිය දශක කිහිපය පුරාවටම මේ රටේ දේශපානලනය උතුරට සැලකුවේ දෙවැනිකොට සලකලා. ආර්ථිකය ඇතුළේ, අධ්‍යාපනයෙදි සෞඛ්යයයේදී, වගේම භාෂාව සම්බන්ධ කාරණාවලදීත් උතුර බරපතළ වෙනස්කම්වලට මුහුණ දුන්නා. ඒ තත්වය නිසා තමයි අපිට අවුරුදු තිහක් තිස්සේ මෙලෙච්ඡ යුද්ධයකට මුහුණ දෙන්න සිදුවුණේ.
නමුත් අපි හිතනවා මේ ජාතික පීඩනය තවදුරටත් ඇදගෙන යා යුතු නැහැ. කවියක් ලියපු උතුරේ දීපචෙල්වන්ට ක්‍රියාත්ම වෙන නීතිය අන්න අටමස්ථානාධිපති දරුවෙක් දූෂණය කලාම ඇඹරෙනවා. ඉතින් මේ ක්‍රමය සාධාරණ ද ? ඒ නිසා අපි හිතනවා මේ රටේ ජාතික ගැටලුවට දැන්වත් දේශපානලන විසඳුමක් අවශ්‍යයි කියලා. එහෙම නොවුනොත් හෙටත් වෙන්නේ මේ පෑරෙන තුවාල උඩ ඉඳගෙන ජාතිවාදීන් බල්ටි ගහන එක. “