අනේ ආයෙත් වැඳල කියන්නම් මාලනීට හානි කරන්න එපා..!
“මාලනී” ගැන කෙරෙන අපදාන චිත්‍රපටයේ චරිත බොහෝමයක්ම මේ රටේ සිංහල සිනමාවේ විසල් චරිත. මාලනී වටා භ්‍රමණය වුණු ගාමිණි, විජය, රවීන්ද්‍ර, සනත්, ලකී යන අය විශේෂයි. මේ අයගෙන් සමහරක් තවමත් ජීවතුන් අතරත් ක්ෂේත්රයේත් ක්‍රියාශීලීව වැජඹෙනවා. ඒ නිසාම මේ තිරනාටකයෙන් හා චරිත ප්‍රතිනිර්මාණයෙන් මියගිය සහ ජීවත් වෙන විසල් චරිත වරදවා අර්ථකථනය වීමක් සිද්ධ වුනොත් අනිවාර්යයෙන් ම ජීවත්ව සිටින මේ විසල් පුද්ගලයින් චිත්‍රපටයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වෙන්නට පුළුවන්. එවැනි අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වුණොත් ප්‍රාග්ධන හිමියන්ට බොහෝ දුරට ඔවුන්ට ගෙවීමට සිද්ධවෙන වන්දි මුදල් වලට නවලෝකය උකස් කරන්නටත් සිද්ධ වේවි. ඒ එක පැත්තක්.
අනික් පැත්තෙන් විජය, රවීන්ද්‍ර, ලකී සනත් වගේ චරිත වලට අරගෙන තියෙන නළුවන් මම සෑහෙන දුරට දන්නවා. මේ තරුණ නළුවන් කිසිම කෙනෙක් රඟපෑම ශාස්ත්‍රීය විෂයයක් හැටියට අධ්‍යයනය කරපු අය නෙවෙයි. මේ තෝරා ගැනීම් නිර්මාණයට කරන බලපෑම සාධක ගණනාවක් ඔස්සේ විග්රහ කරන්න පුළුවන්. ඉන් එකක් තමයි නළු වරණය හෙවත් කාස්ටින් සිද්ධ කරපු අධ්යක්ෂවරයා ඇතුළු කාස්ටින් ඩිරෙක්ටර්ස්ලාගේ දැනුම. දෙක තමයි නුපුහුණු මේ නළුවන් අනිවාර්යයෙන් ම ඒ චරිත ‘අනුකරණයට’ පෙළඹීම. තුන තමයි ගාමිණී විජය සනත් ලකී රවින්ද්‍ර වැනි විසල් චරිත ප්‍රේක්ෂකයාගේ සිත් තුළ නිධන් ගත වෙලා තියෙන ආකාරය. කට කතාවක් යනවා මාලනීගේ චරිතයට තෝරාගෙන තිබෙන නිළිය චිත්‍රපටයේ ප්‍රාග්ධන හිමියාගේ ‘පෞද්ගලික මනාපයක්-Personal Interest’ කියලා. දැනටමත් චිත්‍රපට කර්මාන්තය ඇතුළෙත් ඉන් පිටතත් ඇති වෙලා තියෙන කතාබහ සුභදායී නෑ.
මුලින්ම මම කියපු දෙයක් තමයි මාලනීගේ චරිතය තිර නාටකයකට ගොනුවීමේ දී ඇයගේ ජීවිත දශාවේ මතුපිට ස්තරය හා අභ්‍යන්තර ස්තරය සිනමාවෝචිත ආකාරයකට අර්ථකථනය කරන්න පුළුවන් ස්ක්‍රීන් රයිටර් කෙනෙක් නෙවෙයි මෙය කරන්නේ කියලා. ඒ වගේම ධර්ම යුද්ධය චිත්‍රපටය ලක්ෂ පන්දාහක් හම්බ කලේ අ ධ්යක්ෂකවරයාගේ දක්ෂතාවයෙන් නෙවෙයි මාධ්‍ය ජාලයේ ප්‍රචාරණ කැම්පේන් එකෙන් කියලා. අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවයෙන්ම නම් ඊට කලින් ඔහුම අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටය ෆේලිය එකක් වුනේ කොහොමද…?
තව මේ වගේ කරුණු තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊයේ අපි දැකපු කාස්ටින් එක දිහා බලපුවහම කියන්න තියෙන්නෙ කෙටියෙන් අනේ වැඳලා කියන්නම් මේ කාස්ට් එකම නැවත ගැඹුරින් සලකලා තෝරගන්න… ඒ අයව අවුරුදු දෙකක්වත් train කරන්න කොන්දේසි සහිතව. ඒ තමයි training එක අතරමැදදී ඒ චරිතයට ගැලපෙන්නෙ නැත්නම් අයින් කරන්න සිද්ධ වෙනවා කියන කොන්දේසිය. මොකද අපිට හිටියේ එකම එක මාලනියයි. එයාගේ චරිතය, එයාගේ පෞද්ගලික ජීවිතයට වගේම මුළු මහත් ප්‍රේක්ෂක ජනතාවකගේ හදවතේ එයා ගැන තිබෙන මතකයට හානියක් නොවිය යුතුයි. වැඳලා කියන්නම් මාලනීට හානි කරන්න එපා!
-ධර්මජිත් පුණර්ජීව