උතුරේ යුද්ධය සරලව සරලව කතාකරන්න පුළුවන් කමක් නෑ..

” මුල්ලිවෛක්කාල් වලින් ඉතිහාසය අවසන් ද ? ” මැයෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද ( 2026. 05. 16 ) දින සවස 3.30ට කොළඹ 08, සෙඩෙක් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

   එහිදී අදහස් දැක්වූ දේශපානලන ක්‍රියාකාරී ෆාදර් ජීවන්ත පීරිස්.

” අදටත් අපි කියවගන්නේ මේ රටේ සිංහල ජාතිකවාදී ප්‍රභූ පන්තිය විසින් නිර්මාණය කරපු ඉතිහාසයක් විතරයි. හැබැයි හැමවෙලාවෙම මේ රටේ සැඟවුණු නිර් ප්‍රභූ ජනතාවගේ ඉතිහාසයක් තිබුණා. අපි දන්නවා යුද්ධයේ අන්තිම කාලේ උතුරේ දෙමළ ජනතාව වෙල්ලමුල්ලි වෛක්කාල් ඉඳලා නන්දිකඩාල් වෙනකල් හිටියේ සම්පූර්ණයෙන් සිරවුණු භූමියක. එදා ඔවුන්ට උරුමවෙලා තිබුණේ සාමූහික මරණයක් විතරයි. එදා උතුරට බරපතළ සම්බාධක ප්‍රමාණයක් දාලා තිබුණා. ඔවුන්ට ආහාර ලැබුණේ නැහැ. ඔවුන්ට ඖෂධ ලැබුණේ නැහැ. ඇත්තටම එදා මානුෂික යුද්ධයක් කියලා හැදින්වුවාට එතන තිබුණේ වාර්ගික සංහාරයක්. එදා ඒ මිනිස්සු එක්ක හිටපු ෆාදර් ප්‍රැන්සිස් ජෝශොප් පියතුමා රෝමයට ලියලා යවනවා ලිපියක්. ඔහු ඒ ලිපියේ ලියනවා ලංකාවේ රජය මේ යුද්ධය කරන්නේ දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමේ අරමුණෙන් කියලා. මේක වාර්ගික ජන සංහාරයක් කියන්න සාක්ෂි ඕන තරම් තිබුණා. මල්ටි බැරල් ප්‍රාහාර, පොකුරු බෝම්බ පිට පිට උතුරට කඩා වැටෙද්දි මරණය වැලඳ ගැනීම හැර වෙනත් විකල්පයක් එදා උතුරට ඉතුරු වෙලා තිබුණේ නැහැ.
අපි දන්නවා 2009 ජනවාරි ඉඳලා මැයි 18 වෙනකල් කාලය ඇතුළේ විතරක් එක්ලක්ෂ හතලිස් හයාදාහක් අතුරදන් වුණා. එදා හමුදා ට්‍රක් එකකට පටවගත්ත ප්‍රැන්සිස් ජෝශප් පියතුමා ඇතුළු පිරිසත් ඒ ලයිස්තුවේ ඉන්නවා. එදා උතුරට එරෙහිව දියත් වුණේ වාර්ගික සංහාරයක් කියන එක හොඳටම පැහැදිලියි. දරුවන් කාන්තාවන් පවා මේ යුද්ධය ඇතුළේ ඝාතනය වුණා. තාරකී කියලා හඳුන්වන ශිවරාම් වැනි කවියන් පවා මේ කාලේ ඝාතන වුණා. ඒ ඝාතනය වුණේ ඔවුන් මේ ඇත්ත ගැන ලියපු නිසා. ඒ නිසා අපි හිතනවා උතුරේ යුද්ධය සරළව කතාකරන්න පුලුවන් කමක් නැහැ. මේ යුද්ධය ඇතුළේ අපෙන් වසන් කරපු කතන්දර ගොඩක් තියනවා.
දැන් යුද්ධය ඉවර වෙලා දශක දෙකක් වෙන්නත් ලඟයි. අපි දන්නවා 1948 ඉඳලා 2026 වෙනකල් මේ රට පාලනය කලේ සිංහල ජාතිකවාදී ආණ්ඩු විසින්. ඒ සියලු අණ්ඩු කළේ උතුරේ ජනතාව තමන්ගේම වර්ගයක් විදිහට පිළිගන්න එක ප්‍රතික්ෂේප කරපු එක. ඔවුන් දකුණේ ජනතාවගේ දෘෂ්ටිවාදය තුළ දෙමළ ජනතාව ගැන හැමවෙලාවෙම ඇති කලේ වෛරයක්. මේ නිසා තමයි තිස් අවුරුදු යුද්ධයකින් අපිට වන්දි ගෙවන්න වුණේ. අපි දැන්වත් උතුරේ දෙමළ ජනතාවගෙන් උදුරාගත් දේශපානලන අයිතිවාසිකම් ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි සිදුවුණු වාර්ගික සංහාරය වෙනුවෙන් ඔවුන්ට යුක්තිය ලැබෙන්න ඕන. අන්න එදාට තමයි යුද්ධයේ තුවාල සුවපත් වෙන්නේ. “

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *