ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත සදහා ප්‍රවේශවිමේ අයිතිය ලැබෙන්නේ ඉන්දියානු සමාගමකටයි..
ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඇතුළු ජාතික ආරක්ෂාවට තීරණාත්මක දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමේ තීරණය මේ වනවිට තහවුරු කර ඇති බව පැහැදිලි කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අද, ජුනි 17 විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් නුගේගොඩ, පෙ.ස.ප. කාර්‍යාලයේදී පැවැත්වූ අතර එහිදී පහත කරුණු ඉදිරිපත් කළේය.
දැනට ලංකාවේ ජාතික හැඳුනුම්පත සඳහා ලබා ගන්නේ නම, ලිපිනය, උපන්දිනය, වෘත්තීය වැනි ජීව දත්ත පමණයි. නමුත් 2012දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඩිජිටල්කරණයේ මුවාවෙන් ජනතාවගේ අතිශය පෞද්ගලික දත්ත වන ඇඟිලි සලකුණ, ඇසේ දත්ත, මුහුණේ මිනුම්, ජාන තොරතුරු වැනි ජෛවමිතික දත්ත ලබා ගැනීමට සැලසුමක් සකස් කළා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුබද්ධව විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කළේ ඒ අනුව. එවිට සැලසුම තිබුණේ මේ දත්ත ලංකාවේ රජය සතු කර ගැනීමට. 2026දී යහපාලන ආණ්ඩුව මේ සඳහා වන නීතියක් සම්මත කළා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් ලෙස. නමුත් ඒ වනවිටත් ඉන්දියාවේ සම්බන්ධයක් තිබුණේ නෑ. පසුව ඉන්දියාව ඇවිත් මේ ව්‍යාපෘතිය සඳහා යන මුදලින් කොටසක් ආධාරයක් ලෙස දෙන්නම් කියා මෙහි දත්ත ගබඩාව සහ මෘදුකාංග සකස් කිරීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ඉල්ලා සිටියා. ඒ අනුව 2023 රනිල් – රාජපක්ෂ හවුල් ආණ්ඩුව මේ සඳහා ටෙන්ඩරය කැඳවුයේ ඉන්දියානු සමාගම් වලට පමණක් මෙයට සහභාගී විය හැකි බවට කොන්දේසියක් ඇතුළු කරමින්. නමුත් ජනතා විරෝධය හමුවේ ටෙන්ඩරය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට රනිල් වික්‍රමසිංහට සිදු වුණා. එලෙස අවලංගු කළ හැකිව තිබුණේ ටෙන්ඩරය කැඳවුයේ ලංකාවේ රජය නිසා. මෙතෙක් මෙම ව්‍යාපෘතිය ඉන්දියාවට ලබා දීමට විරුද්ධව සිටි ජාතික ජන බලවේගය බලයට පත්වූ පසුව ක්‍රියාවලිය වේගවත් වුණා. 2024 දෙසැම්බරයේ නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවේදී ලංකාවේ හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලය පවා ඉන්දියාවට ලබා දීමට එකඟ වී තිබුනා. එය ලංකාවේ ජනතාවගේ මූලික ප්‍රජාත්නත්‍රවාදී අයිතියක් සහ ජාතික ආරක්ෂාව පාවා දීමක්. ඒ අනුව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත සඳහා ප්‍රවේශ වීමේ අයිතිය ලැබෙන්නේ ඉන්දියානු සමාගමකට පමණයි. එම සමාගම කුමක්දැයි තෝරා ගැනීමේ බලය තිබෙන්නේත් ඉන්දියානු රජයට. ලංකාවට කිසිම බලයක් නැහැ. ඉන්දියානු රජය කැඳවූ ටෙන්ඩරයේ කාලසීමාව 2026 මැයි 8 අවසන් වුනා. ඊයේ වනවිට ඉන්දියාව සුදුසුකම් ලැබූ සමාගම් පහ අතරින් එකක් තෝරාගෙන අවසන්. මේ සමාගම් පහෙන් දෙකක් ඉන්දියානු රාජ්‍ය සමාගම්. ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධ සමාගම්. ඉතිරි තුන නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ පොදු මහජන අරමුදල් මංකොල්ල කමින් මිතුරු ජාවාරම්කාර වලල්ලේ සාමාජිකයන්. මෙම ටෙන්ඩරය මෝදිගේ සමීප මිතුරෙකු සහ මෝදිගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී – ව්‍යාප්තවාදී – හින්දු අන්තවාදී දේශපාලන වැඩසටහනේ ප්‍රමුඛ ආධාරකරුවෙකු වන ඉන්ෆොසිස් සමාගමට ලබාදීමේ සූදානමක් ගැන ඉන්දියාවෙන් ආරංචි වෙනවා. මෙයට තරයේ විරුද්ධ විය යුතුයි. මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට ඉඩ නොදිය යුතුයි. අද පාර්ලිමේන්තු විපක්ෂය මේ ප්‍රශ්නය ගැන වචනයක් කතා කරන්නේ නෑ. ආණ්ඩුවයි විපක්ෂයයි එකතු වෙලා මේ මහා පාවාදීම කරන්නේ. ජනතාව මෙම විනාශය පරාජය කිරීමට පෙරට ආ යුතුයි.