දිණන දකුණෙන් IMF ණය වාරිකය සමාලෝචනය ගැන කතාකරයි..
දිනන දකුණ සාමුහිකයෙන් ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ මීලග ණය වාරිකය නිකුත් කිරිම සම්බන්ධයෙන් එම අරමුදලේ ණය වාරිකය ගැන මෙලෙස මාධ්‍යය නිවේදනයක් නිකුත්කර ඇත..
මාධ්‍ය ප්‍රකාශය
2026.05.28.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ, ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් මුදාහරිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක සභාව විසින් පස්වන සහ හයවන සමාලෝචනය සාර්ථකව නිම කොට තිබේ.
ඒ සමගම මෙරට කෙරෙහි බලපාන්නාවු IMF විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුමේ අවසානයද එමගින් සනිටුහන් කර සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තීරණාත්මක, ඓතිහාසික කඩඉමකට පැමිණ තිබේ. එනම් රටක් වශයෙන් බාහිර ආයතනයක මැදිහත්වීමකින් හෝ මග පෙන්වීමකින් තොරව ජාතියක් වශයෙන් තමන්ගේම මෙහෙයවීමෙන් හා ස්වයං මුල්‍යය විනයක් පවත්වා ගනිමින් ශ්‍රී ලාංකාවේ සාමුහික අනාගත දෛවය ගොඩනැගීම සඳහා කැපවීමක් ඇති කර ගැනීම හෝ නොකර ගැනීම පිළිබඳ අධිෂ්ඨානය බව අවධාරණය කර සිටී.
IMF මැදිහත්වීම මගින් සැපයුනු ක්ෂණික මූල්‍ය සැපයුම මඟින් අපට කෙටි කාලීන සහනයක් සැලසුනේය.
නමුත් මූල්‍ය අරමුදලේ ඇගයීම මඟින් එක් යථාර්ථයක් පැහැදිලිවම පෙන්වා දී තිබේ. එනම්, රටේ ආර්ථික ස්ථාවරත්වය තවමත් අතිශය බිඳෙනසුලු මට්ටමක පවතින බවය.
එම අවධානම දිත්වා සුළි කුණාටුව මෙන්ම මැදපෙරදිග යුදමය තත්වය වැනි බාහිර කම්පනයන් හමුවේ දැඩි ලෙස විටින් විට නිරාවරණය වන්නේ ඉහත සඳහන් බිඳෙන සුලු ප්‍රවනතාවයයි.
නමුත් එවැනි ගැඹුරු අවධානම් තත්ත්වයක්, වාහන ආනයන බදු වැනි එක් වරක් පමණක් ලැබෙන ආදායම් ප්‍රභව මත රැදෙමින් හෝ ප්‍රාථමික ගිණුම ස්ථාවරව පවත්වා ගැනීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි වන බවය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට අත්දකිමින් සිටින රුපියලේ වටිනාකම උච්ඡාවචනය වීමේ ප්‍රවනතාවය අපට නැවත නැවතත් සිහිපත් කරන්නේ රට තුළ පවතින ආර්ථික අර්බූදය හුදෙක් මූල්‍යමය අසාර්ථකත්වයන් පමණක් නොවන බවය. ඒවා දිගුකාලීන ආර්ථික ව්‍යුහාත්මක තර්කනයක මත පිහිටා ක්‍රියාත්මකවීමට වඩා කෙටි කාලීන ජනප්‍රියවාදී දේශපාලන පැවැත්මට මුල් තැන දෙන දේශපාලන සංස්කෘතියක තර්කානුකූල ප්‍රතිඵලයක් වී ඇති බවකි.
එබැවින්, අප අවධාරණය කරන්නේ ක්ෂණික අවශ්‍යතා මත පිහිටා කෙටි කාලීන ජනප්‍රියවාදී දේශපාලන විසදුම් සෙවීම වෙනුවට දීර්ඝ කාලීන අර්බූද කළමනාකරණය සඳහා වන ප්‍රවිශ්ටයකින් යුතුව තාර්කික හා ස්ථිර ව්‍යුහාත්මක ප්‍රතිපත්තිමය ප්‍රවේශයකට වහාම අවතීර්ණ වන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු.
එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වැනි, වරින් වර මෙරට ආර්ථිකය බේරාගැනීමට ඉදිරිපත්වන චක්‍රීය ආරක්ෂිත දැලකින් පමණක් රටට පවතින එකම මාර්ග සිතියම ලෙස සැලකීමට ශ්‍රී ලංකාවට තවදුරටත් හැකියාවක් ඇත්තේ නැත.
රටක් ලෙස ආර්ථික ස්වෛරීභාවය ඇති කර ගැනීමේ සැබෑ මිණුම් දණ්ඩ විය යුතු වන්නේ, අනාගතයේදී තවත් IMF වැඩසටහනක අවශ්‍යතාවයක් ඇති නොවන පරිදි අපගේ ආර්ථිකය ශක්තිමත් ව්‍යුහාත්මක පදනමක් මත කළමනාකරණය කිරීම බව අප අවධාරණය කොට සිටී.
ඒ සදහා අපගේ ඒකායන අරමුණ විය යුත්තේ රට තුළ ධනය උත්පාදනය සඳහා වන පරිසරයක් ගොඩනැංවීමයි.
එවැනි පරිරයකින් උත්පාදනය වන ප්‍රථිපලය වනු ඇත්තේ අතමිට ඇති ජනතාවක් බිහිවීමයි.
ඒ සදහා IMF ආයතනය විසින් පෙන්වා දී ඇති පහත සඳහන් තීරණාත්මක ක්ෂේත්‍ර හතර තුළ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළයුතුව තිබේ. එනම්;
- බාහිර අවදානම් අවම කිරීම: ව්‍යුහාත්මක ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම
ගෝලීය ආර්ථික අස්ථාවරත්වයන් හමුවේ පැවැත්ම උදෙසා තාවකාලික ආනයන සීමාවන් හෝ හදිසි විනිමය අධිභාර පැනවීම, තිරසාර උපාය මාර්ගයක් නොවන අතර, එමගින් දේශීය කර්මාන්ත අඩපණ කරනු ලබන්නට හේතු වන්නේය.
එම නිසා රජයක් ලෙස අපනයනය විවිධාංගීකරණය සඳහා දැඩි ව්‍යුහාත්මක ප්‍රවේශයක් ගත යුතුව තිබේ.
ඒ සඳහා රට තුළ වෙළඳ යටිතල පහසුකම් තුළ ඉහළ තාක්ෂණික දත්ත විශ්ලේෂණ පද්ධති පූර්ණ ලෙස ඒකාබද්ධ කළ යුතුව තිබේ.
එමෙන්ම ස්වභාවික ව්‍යසනයන් හමුවේ ජාතික අයවැය අස්ථාවර නොවී පවත්වාගෙන යා හැකි ස්ථිර, කම්පන – ඔරොත්තු දෙන මූල්‍ය රාමුවක් ස්ථාපිත කළ යුතුව තිබේ.
එවැනි ප්‍රවිශ්ටයකින් තොරව අපට ඉදිරියක් පවතින්නේ නැත.
- ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ: ආයතනික කාර්යක්ෂමතාව තහවුරු කිරීම
රටේ ප්‍රගතියට අත්‍යවශ්‍ය මූලික ආර්ථික පනත් කෙටුම්පත් සම්මත කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම ජාතික ඉදිරි ගමනට එල්ල කරන බාධාවක් වී තිබේ.
පසුගිය රජය මගින් හදුන්වා දී තිබුන මෙරට ආර්ථිකය තුළ ව්‍යුහාත්මක වෙනසකට භාජනය කිරීමේ ඉලක්කයන් සහිත පනත් ලෙස සැලකෙන රාජ්‍ය ව්‍යවසාය (SOE) පනත, විධිමත් රාජ්‍ය ප්‍රසම්පාදන පනත සහ රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් වලට අදාළ කෙටුම්පත් වහාම පාර්ලිමේන්තුවේ සම්මත කොට ගෙන ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යවී තිබේ.
එමගින් පුද්ගල කේන්ද්‍රීය සහ දේශපාලන අධිකාරියේ අභිමතය පරිදි සිදුවන පාලනයෙන් මිදී, රාජ්‍ය ව්‍යවසායන් සහ පොදු මූල්‍ය පද්ධතිය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කෙරෙන දැඩි ආයතන කේන්ද්‍රීය රාමුවක් වෙත අප රට පරිවර්තනය කරගත හැකි වනු ඇත.
- මූල්‍ය තිරසාරභාවය: බදු පදනම පුළුල් කිරීම සහ තාවකාලික ආදායම් මත යැපීම නැවැත්වීම
මෝටර් රථ ආනයන බදු වැනි තාවකාලික, එක් වරක් පමණක් ලැබෙන ආදායම් මෙන්ම විදේශ ප්‍රේශන මෙන්ම සංචාරක කර්මාන්තය වැනි විචල්‍ය ආර්ථික සාධක මත යැපෙමින් මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමත් ඒ තුළින් ප්‍රථමික ගිණුමේ ස්ථාවරත්වය පිළිබදව විශ්වාසය තැබීම තුළින් රටේ පවතින සැබෑ ව්‍යුහාත්මක අර්බූදය අමතක කොට ඇති බව අපගේ විශ්වාසයයි.
එබැවින් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරන ජනප්‍රියවාදී බදු සහන දේශපාලන උගුල් රජය විසින් ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. ඒ වෙනුවට, බදු පදනම පුළුල් කිරීම, බදු කාන්දු වීම් වැළැක්වීම සඳහා ආදායම් එකතු කිරීමේ පද්ධති ඩිජිටල්කරණය කිරීම සහ 2027 වසරේ සිට සමාජ අස්ථාවරත්වයක් ඇති නොවන පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්ත ඉලක්කයක් අඛණ්ඩව පවත්වාගෙන යන අතරේදීම, වර්ධන වේගය 5% න් ඔබ්බට ගෙන යාම සඳහා පුළුල් මධ්‍යකාලීන ආදායම් උපාය මාර්ගයක් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට අප අවධාරණය කොට සිටී.
- යහපාලනය සහ දූෂණ විරෝධය: සුදුසුකම් පදනම් කරගත් ක්‍රමවේද සහ විනිවිදභාවය බලාත්මක කිරීම
වගවීම හා පාරදෘෂ්‍යභාවය පෙරදැරි කොටගත් තීන්දු ගැනීමේ ක්‍රියාවලියකින් තොරව ආර්ථික ස්ථාවරත්වයක් පැවතිය නොහැකි වන බව අපගේ විශ්වාසයයි. එම නිසා දූෂණ විරෝධී දේශපාලන සටන් පාඨ වෙනුවට ස්වාධීන ආයතන සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතු යැයි අප අවධාරනය කර සිටී.
එම නිසා රාජ්‍ය ආයතන තුළ පත්වීම් සහ අධීක්ෂණයන් දේශපාලන හිතවත්කම් මත නොව, දැඩි වෘත්තීය සුදුසුකම් (Meritocracy) මත පදනම්ව සිදුවන පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුව තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 5 වැනි සහ 6 වැනි වාරික ලැබීම ජයග්‍රහණයක් ලෙස සමරනු වෙනුවට, එය රට මුදාගැනීමේ අවසන් අවස්ථාව සදහා වන කවුළුවක් ලෙස රජය භාවිත කළ යුතු යයි අප කියා සිටින්නෙමු.
රටේ පොදු අවශ්‍යතාවය ව්‍යුහාත්මක ශක්තියෙන් සුරක්ෂිත කරන, ආයතනිකව ස්ථාවර වූ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා තාර්කික සහ දුරදක්නා ප්‍රතිපත්තිමය සැලැස්මක් ක්‍රියාවට නංවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. මෙම IMF වැඩසටහන අපේ රටේ අවසාන IMF වැඩසටහන බවට පත් කිරීමට කැපවෙන ලෙස අප වර්ථමාන රජයෙන් ඉල්ලා සිටින්නෙමු !
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.