සුන්දර ඕමානය දැසින්ම දැකගන්න..
ඕමානය කියනනේ මැදපරදිග තියෙන තවත් ස්ථවර දේශපාලනය,සමාජ,ආර්ථික පසූබිමක් සහිත රටකි.මස්කට් අගනුවර පිහිටා ඇති සුල්තාන් කාබූස් මහා පල්ලිය (Sultan Qaboos Grand Mosque) ගැන තමයි අද මේ විස්තරය ඔබට කියනනේ.ඉස්ලාම් දහම තුල පල්ලියට හිමිවනනේ විශේෂ ස්ථානයකි. ලෝකයේ ඉස්ලාමීය වාස්තු විද්‍යාත්මකව අලංකාරව විශාලව ඉදිකර ඇති පල්ලි අතර සුල්තාන් කාබූස් මහා පල්ලියට ද හිමිවෙනනේ අද්විතීය
ස්ථානයකි.
මෙය 1970 -2020 කාලයේ වසර 50 ඕමානයේ හිටපු පාලකයා වූ සුල්තාන් කාබූස් බින් සයිඩ් අල් සයිඩ් (Sultan Qaboos bin Said Al Said) රජුගේ උපදෙස් මත ඉදි වූවකි.
මෙහි ඉදිකිරීම් 1995 දී ආරම්භ වූ අතර, 2001 මැයි 4 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය නිම කිරීමට වසර 6 කුත් මාස 7 ක් ගත විය. මෙය වර්ග මීටර් 416,000 ක භූමි ප්‍රමාණයක පැතිර පවතී.
එකවර බැතිමතුන් 20,000 කට පමණ මෙහි යාඥා කළ හැකිය.
මෙහි ප්‍රධාන යාඥා ශාලාව (The Main Prayer Hall)
මුළු පල්ලියේම හදවත බඳු ප්‍රදේශයයි.
ගෝලාකාර වහලය (The Dome) ප්‍රධාන ශාලාවේ වහලය මීටර් 50 ක් පමණ උස වන අතර එය ඇතුළතින් ඉතාමත් සියුම් කැටයම්වලින් යුක්ත වේ.
මිහ්රාබ් (Mihrab) මෙය මක්කම දෙසට ඇති දිශාව පෙන්වන ස්ථානයයි. මෙය සම්පූර්ණයෙන්ම පාහේ රන්වන් පැහැති මොසෙයික් (Mosaic) ගල්වලින් සරසා ඇත. යාඥා ශාලාවේ පමණක් 6,500 කට ඉඩකඩ ඇත. ප්‍රධාන යාඥා ශාලාව එලා ඇති ඉරාන පලස ලොව දෙවන විශාලතම අතින් වියන ලද පලස ලෙස සැලකේ.මෙය ඉරානයේ කාන්තාවන් 600 දෙනෙකු වසර 4 ක් තිස්සේ නිම කළ එකකි. මෙහි වර්ණ 28 ක් අඩංගු වේ.
තොරතුරැ වලට අනුව මෙම සම්පූර්ණ පලස ටොන් 21 ක් පමණ බර වේ යැයි සදහන් කරයි.
මෙහි වර්ග අඟලකට ඉතා විශාල ගෙතුම් ප්‍රමාණයක් ඇති අතර, මුළු පලසෙහි ගෙතුම් කෝටි 170 ක් (1.7 billion knots) පමණ අඩංගු බව පැවසේ.මෙය වර්ග මීටර් 4,343 ක වපසරියක් ආවරණය කරයි.
මෙහි මිනාර පහකින් සමන්විතව ඉන් උසම මිනාරය මීටර් 91.5 ක් උස වන අතර, අනෙක් හතර මීටර් 45 ක් උස වේ. මෙම මිනාර පහෙන් ඉස්ලාම් දහමේ මූලිකාංග පහ සංකේතවත් කෙරේ.
මෙහි ඇති මධ්‍යම පහන මීටර් 14 ක් උස වන අතර එය ‘Swarovski’ ස්ඵටික (crystals) 600,000 කින් සමන්විත වේ. එය එවකට ලොව විශාලතම පහන ලෙස සැලකිනි. ඕමානය යනු ග්‍රීෂ්ම කාලයේදී ඉතා දැඩි උෂ්ණත්වයක් පවතින රටකි. එම නිසා පල්ලිය නිර්මාණය කර ඇත්තේ ස්වභාවික වාතය ගලා යාමට හැකි වන පරිදි ය. එමඟින් දැඩි උෂ්ණත්වය පවතින කාලවලදී පවා පල්ලිය තුළ සිසිල් බවක් රැඳී පවතී.පල්ලිය අවට ඇති විවෘත මළුව ඉතා අලංකාර ලෙස ඔප දැමූ කිරිගරුඬ (Marble) වලින් සාදා ඇත. එය පල්ලියේ ඇතුළත රශ්නය පාලනය කිරීමටද උදව් වේ.
මෙහි බිත්ති සඳහා ‘Desert Rose’ වැලිගල් වර්ණය ඕමානයේ කාන්තාර පරිසරය සමඟ මැනවින් බද්ධ වීම සදහා යොදාගෙන ඇත.
මෙම පල්ලිය වටා ඇති උද්‍යානය ඉතා ක්‍රමවත්ව නඩත්තු කර ඇති අතර, එහි ඔමානයට ආවේණික විවිධ මල් වර්ග සහ ගස් වර්ග ද දැකිය හැකිය. එය පල්ලියට ඉතා අලංකාර නිසංසල පරිසරයක් ලබා දෙයි.
පල්ලිය හුදෙක් යාඥා කිරීමට පමණක් නොව, දැනුම බෙදා දෙන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. මෙහි ඇති පුස්තකාලය තුළ විවිධ භාෂාවලින් ලියැවුණු පොත් 20,000 කට වඩා තිබේ. ඉස්ලාමීය සංස්කෘතිය, ඉතිහාසය සහ විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන අයට මෙය ඉතා වටිනා ස්ථානයකි. මහජනතාව සඳහා විවිධ දේශන සහ වැඩමුළු පැවැත්වීමට පහසුකම් මෙහි ඇත.
මෙය ඕමානයේ සංස්කෘතික අනන්‍යතාවය විදහා දක්වන ඉතාමත් සාමකාමී සහ අලංකාර ස්ථානයක් වන අතර ඕමානය තුල සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස අදවන විට පත්ව ඇත.
බොහෝ විට පල්ලිය තුළ ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් සිටින අතර, ඔවුන් පල්ලියේ ඉතිහාසය සහ ඉස්ලාම් දහම පිළිබඳව සංචාරකයින්ට පැහැදිලි කර දීමට සූදානම්ව සිටිති. නොමිලේ මෙම ස්ථානයට පිවිසීමට ඔමාන් රජය අවසර ලබා දී ඇති අතර ආබාධිත පුද්ගලයින් සඳහාද පහසුවෙන් ගමන් කළ හැකි පරිදි පල්ලිය නිර්මාණය කර ඇත.
තොරතුරැ අන්තර්ජාල ඇසුරින්
අනුර වීරකෝන්
ඕමානයේ සිට