රනිල් රාජපක්ෂලාගේ කොල්ලකාරි ආර්ථික ප්‍රතිපත්තියම තමයි මේ ආණ්ඩුවත් කරන්නේ..

මර්දනකාරී අණපනත් සම්මත කරමින් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන IMF – ඉන්දියානු ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙරට ජනතාවට අත්විදින්නට සිදුවන පීඩාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල ව්‍යාපාරය අද ( 2026. 01. 01 ) දින උදෑසන කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදුකරන ලදී.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.

         "  අපි දන්නවා ගෙවුණු 2025 අවුරුද්ද මේ රටේ ජනතාවට එච්චර සුභදායක අවුරුද්දක් වුණේ නෑ. IMF කොන්දේසි එක්ක මේ රටේ ජනතාවට පසුගිය අවුරුද්දෙ විශාල බදු බරක් පැටවුණා. අත්‍යාවශ්‍ය ආහාරවලට, සෞඛ්‍යයට විතරක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලට පවා විශාල බදු බරක් පටවලා ඉවරයි. අනිත් පැත්තෙන් ආණ්ඩුව ඉන්දියාව එක්ක අත්සන් කරපු හොර ගිවිසුම්වලට අනුව දැන් මේ රටේ ජනතාවගේ ඉඩම් ටික ඉන්දියාවට පුදන්න සූදානම් වෙනවා. ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම් අතර ඖෂධ ගිවිසුමක් තියනවා. ඒ ගිවිසුමේ තියෙන්නේ ඉන්දියාවේ බෙහෙත් කිසිදු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙන්වනවා කියන එකඟතාවය. ඒ කියන්නේ තත්වයෙන් බාල ඖෂධ ලංකාවට ගේනවා. අපි දන්නවා එකපාරක් කෙහෙලිය ඇතුළු හොර නඩය මේ රටට බාල බෙහෙත් ගෙන්නලා කරපු විනාශය. සිය ගණනක් රෝගීන් මියගියා. දැන් මේ ආණ්ඩුවේ මේ බාල බෙහෙත් මගඩිය නිසා දැනටමත් රෝගීන් මිය යන්න පටන් අරගෙන. 
           අනෙක් පැත්තෙන් ඉන්දියානු මහාපරිමාණ ට්‍රෝලර් යාත්‍රා අපේ මුහුදු සීමාවට ඇවිත් අපේ රටේ මත්ස්‍ය සම්පත් සියල්ල සූරගෙන යනවා. අපේ ධීවරයන්ට වෙලා තියෙන්නේ ඒවා දිහා බලාගෙන උහුල්ලන්න. ඊලගට සුළං බලාගාර ව්‍යාපෘති සූර්‍ය බලාගාර ව්‍යාපෘති කියාගෙන ඇවිල්ලා මේ රටේ ජනතාවගේ ඉඩම් ටික කොල්ලකනවා. ත්‍රිකුණාමලේ වර්ග සැතපුම් 720ක්, මුත්තු නගර් අක්කර 800ක්, කුච්චවේලි අක්කර 1000ක් මේ විදිහට විකුණන්න නියමිතයි. මේ ඉඩම්වල වගා කරපු පදිංචි වෙලා හිටපු අහිංසක ජනතාව එලවලා තමයි ඉඩම් ටික ඉන්දියාවට විකුණන්න යන්නේ. 
          මේ වැඩ ටික මෙහෙම යටින් යනකොට ආණ්ඩුව දන්නවා ජනතා අරගල පැන නගින එක නවත්වන්න බැහැ කියලා. මොකද ගන්න හාල් ටිකට පරිප්පු ටිකට පොඩි එකාගෙ පොතට පැන්සලට බොන බෙහෙත් පෙත්තට පවා බදු ගෙවන්න වෙද්දි. ඉන්දියානු සමාගම් ඇවිල්ලා ජනතාවගේ ඉඩම් ටික කොල්ල කද්දි. තමනගේ දරුවා ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලේ පාඩුයි කියලා වහන්න යද්දි. ඉන්දියාවෙන් කුණු කොල්ලෙට ගෙන්නන බාල බෙහෙත් බීලා රෝගීන්ට මැරෙන්න වෙද්දි, රෝහල්වල ඖෂධ ටික නැතිවෙද්දි, ඔපරේෂන් එක කරගන්න ඕන පහසුකම් නැතිවෙලා මාස ගණං පෝලිමේ ඉන්න වෙද්දි ජනතාවට සඨන් කරනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. 
          මේක කලින්ම දන්න නිසා තමයි ආණ්ඩුව " ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත " කියලා අළුත් මර්දන පනතක් ගේන්න සූදානම් වෙන්නේ. මේ පනත ගේන්නේ ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කරන අයව සිර කරන්න. ආණ්ඩුව යන පාර වැරදියි ජනතාව පීඩාවට පත් කරන IMF කොන්දේසිවලින් වහාම ඉවත් වෙන්න, ඉන්දියාව එක්ක අත්සන් කරපු හොර ගිවිසුම්වලින් වහාම ඉවත් වෙන්න කියලා ආණ්ඩුවට බලකරමින් සඨන් කරන අයව මර්දනය කරන්න පුලුවන් විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. 
        ඒ නිසා අපි හිතනවා එළඹෙන 2026 අවුරුද්ද කියන්නෙත් රටේ ජනතාවට එතරම් සුබදායක අවුරුද්දක් නෙවෙයි. මොකද ආණ්ඩුවේ මේ නවලිබරල් IMF ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මුළු රටම දැවැන්ත ණය උගුලක හිරවෙලා. ඒ ණය ගෙවන්න වෙන්නේ මේ රටේ වැඩකරන පන්තියට. අනික් පැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කප්පාදු වෙන පනත් එනවා. ඉදිරියේදී අපේ රෝහල්වලට තව තව බාල බෙහෙත් එනවා. ඉන්දියානු සමාගම් ඇවිත් අපේ ගොවියන්ගේ ඉඩම් කොල්ලකනවා. ඉන්දියානු යාත්‍රා ඇවිත් අපේ ධීවර සම්පත් කොල්ලකනවා. මේවා වෙන දිහා නිඬව බලාගෙන ඉන්න අපිට පුලුවන් කමක් නෑ. ජනතාව අළුත් ආණ්ඩුවක් ගෙනාවේ මෙහෙම තත්වයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. හැබැයි මේ ආණ්ඩුවත් අර පරණ රනිල් රාජපක්ෂලාගේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියම තමයි ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒ කොල්ලකාරී ප්‍රතිපත්තියට එරෙහිව සංවිධානය වෙලා සඨන් කීරීම හැර ජනතාවට වෙන විකල්පයක් නෑ. අන්න ඒ දැනුවත් කිරීමත් අරගෙන තමයි ජන අරගල ව්‍යාපාරය ජනතාව ඉදිරියට එන්න තීරණය කළේ. "

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *