බාල ගල් අඟුරු වලට හරියන්න ආණ්ඩුව නීතිය බාල කරලා – පෙසප කියයි
2025 වසරේ ලංකාවට ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරය ලබාගෙන ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු නියමිත කාලයට ලබාදීමට අසමත්වූ ඉන්දියානු සමාගමට හදිසි ස්ථානීය ටෙන්ඩරය ලබාදීමට සහ ගල් අඟුරු ප්‍රමිතියට අදාළ පිරිවිතර වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි. ඔහු මේ බව පැවසුවේ මාර්තු 12 වැනිදා පස්වරුවේ නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
2026 වසර සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු නැව් 25ක් ආනයනය සඳහා 2025 සැප්තැම්බර් මාසයේදී ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගමකට ටෙන්ඩරය ලබා දුන්නා. එම සමාගමටම ටෙන්ඩරය ලබා දීමේදී යම් විශේෂ අනුග්‍රහයක් තිබුණේද හා උක්ත සමාගමටම එම ටෙන්ඩරය ලබාදීමේ අරමුණෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළේද යන ප්‍රශ්නය මතුවුවා. අප 2025 අගෝස්තුවේ සිට මෙම සමාගම ගැන කියූ දේ සනාථ කරමින් එම සමාගමෙන් ගෙන්වූ ගල් අඟුරු වල ප්‍රමිතිය බාල වූ අතර එමගින් විශාල පාඩුවක් සිදු වුණා. ඒ වගේම එම සමාගමට අවශ්‍ය කාලයට ගල් අඟුරු සපයන්න බැරි වුණා. 2025 දෙසැම්බර් දෙවන සතියේ පළමු නැව ගෙන එන බව පැවසුවත් එය පැමිණියේ දෙසැම්බර් අවසානයේ. අප මේ ඉන්නේ මාර්තු මැද. තවමත් පැමිණ ඇත්තේ නැව් 12යි. සති දෙකකින් පමණ ගල් අඟුරු නැව් පැමිණීම අඩාල වී තිබුණා. මේ හේතුව නිසා ලංකාව විශාල බලශක්ති හිඟයකට මුහුණ දීමේ අවදානමක් තිබෙනවා.
ආණ්ඩුව මාර්තු 11 වැනිදා ගල් අඟුරු නැව් පහක් සඳහා හදිසි ස්ථානීය ටෙන්ඩරයක් කැඳවනු ලැබුවේ ඒ අනුව. එම ටෙන්ඩරය සඳහා සමාගම් හතරක් ඉල්ලුම් කර තිබෙන අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම බව දැනගන්නට ලැබී තිබෙනවා. අපට ස්ථානීය ටෙන්ඩර් කැඳවීමකට යන්න වුණේ මෙම සමාගම බාල ගල් අඟුරු ලබාදුන් නිසා සහ එම සමාගමට අපට අවශ්‍ය වෙලාවට ගල් අඟුරු සැපයීමේ ධාරිතාවයක් නැති නිසා. එම අපකීර්තිමත් සමාගමටම තවත් නැව් පහක් සඳහා ටෙන්ඩරය ලබා දීම සදාචාරවත් නොවනවා පමණක් නොව, ලංකාව විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ අතර මීට පෙර හැමදාමත් ගල් අඟුරු වල ප්‍රමිතිය නිර්ණය කිරීමේදී Reject Value හෙවත් ප්‍රතික්ෂේප සීමාවේ අගය නම් අගයක් තිබුණා. සරලව කියන්නේනම් ගල් නගුරු කිලෝ ග්‍රැමයකින් කිලෝ කැලරි 5900ට වඩා අඩු ශක්තියක් ජනනය වන ගල් අඟුරු අප ප්‍රතික්ෂේප කරනවා. අළු ප්‍රතිශතය 16%ට වැඩි ගල් අඟුරු ප්‍රතික්ෂේප කරනවා. නමුත් ආණ්ඩුව මෙවර ඒ ප්‍රතික්ෂේපිත අගයට වඩා අඩු ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු භාර ගත්තා. ඒ විතරක් නෙවෙයි, බාල ගල් අඟුරු භාර ගන්න පුළුවන් විදියට ටෙන්ඩර් පිරිවිතර වෙනස් කරලා. මෙවර ස්ථානීය ටෙන්ඩරයේ ප්‍රතික්ෂේපිත අගය සීමාව, Reject Value යන වචනය අවම අගය එනම් Minimum Value ලෙස වෙනස් කරලා. අන්තිමට බාල ගල් අඟුරු වල බර ජනතාවට දරන්න වෙනවා විතරක් නෙවෙයි, රටේ ප්‍රසම්පාදන රේගුලාසිත් බාල කරලා. කොහොම හරි මේ ඉන්දියානු සමාගමටම ටෙන්ඩරය දෙන්නයි මාන බලන්නේ.
ලෝකයම වෙලාගත් යුද්ධයක් ඇති වෙලා, තෙල් හිඟයක අවදානමක් තිබියදී ආණ්ඩුව මේ කරමින් සිටින්නේ මොකක්ද? පාසල් බස් එකකට, පාසල් වැන් රථයකට. හදිසි ගිලන් රථයකට, පොදු ප්‍රවාහන මාධ්‍යයකට, නිෂ්පාදනය වෙනුවෙන් වෙන් කරන්න තිබෙන ඩීසල් ටිකෙන් රෑට ලයිට් දාගෙන ඉන්න වෙනවා. නැතිනම් තව මාසයකින් දෙකකින් කළුවරේ ඉන්න වෙනවා. ඩීසල් ආනයනය කරන්න ලැබුණත් විදුලි ගාස්තු උහුලන්න බැරි තරම් වැඩි වෙනවා. ඒ සියලු විනාශයන්ට මග පෑදු ඉන්දියානු සමාගම සහ රජයේ බලධාරීන් යහතින් ඉන්නවා. විපක්ෂය සොරකම් ගැන රහස් පරීක්ෂණ කරමින් සිටිනවා. ජනතාව දේශපාලනයේ සුක්කානම අතට ගන්නේ නැතිනම් අලුත් අයිතිවාසිකම් දිනා ගැනීම කෙසේ වෙතත්, රට සංවර්ධනය කිරීම කෙසේ වෙතත්, මෙතෙක් ජීවත්වූ මට්ටමවත් ආරක්ෂා කර ගන්න බැරි වෙයි.