නූතන ඕමානයේ නිර්මාණකරු සුල්තාන් කාබූස්ගේ අසිරිමත් මෙහෙවර
ලෝක සිතියමේ අරාබි අර්ධද්වීපයේ කෙළවරක පිහිටි ඕමානය, අද වන විට ලොව ආරක්ෂිතම සහ සාමකාමී රාජ්‍යයක් ලෙස විරාජමාන වේ. මෙම අසිරිමත් පරිවර්තනයේ නියමුවා වන්නේ 1970 සිට 2020 දක්වා වසර 50ක් පුරා ඕමානය පාලනය කළ, නූතන පුනරුදයේ පියා ලෙස සැලකෙන අතිගරු සුල්තාන් කාබූස් බින් සයිඩ් අල් සයිඩ් රජතුමාය.
1940 නොවැම්බර් 18 දින සලාලා හි උපත ලැබූ කාබූස් කුමරු, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් (Sandhurst) රාජකීය හමුදා ඇකඩමියෙන් විනයගරුක යුද පුහුණුවක් ලැබීය. 1970 ජූලි 23 වන දින ඔහු සිය පියාගෙන් පාලන බලය ලබා ගත්තේ ලේ වැගිරීමකින් තොරවය. එය ඉතිහාසයට එක්වූයේ “ධවල විප්ලවය” ලෙසිනි. එතෙක් ලෝකයෙන් හුදකලා වී, ඉතා දැඩි නීති රීතිවලට යටත්ව තිබූ ඕමානය නව මාවතකට අවතීර්ණ වූයේ එදිනය.
දැවැන්ත අභියෝග ජයගත් වසර 50
කාබූස් රජතුමා පාලනය භාර ගන්නා විට මුළු රටටම තිබුණේ
පිරිමි දරුවන් සඳහා පමණක් වෙන්වූ පාසල් 3කි.
තාර දැමූ මාර්ග තිබුණේ කිලෝමීටර් 10ක් පමණි.
රට අභ්‍යන්තරයේ (විශේෂයෙන් දෝෆාර් ප්‍රදේශයේ) දරුණු සිවිල් යුද්ධයක් පැවතුණි.
එතුමා සිය හමුදාමය දැනුම සහ දූරදර්ශී දේශපාලන ඥානය යොදාගෙන 1975 වන විට සිවිල් යුද්ධය අවසන් කර රටේ ඒකීයභාවය තහවුරු කළේය.
සංවර්ධනයේ සලකුණු ලෙස අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන අංශ කෙරෙහි අවධානය යොමූ කරමින්.
”සෙමින් නමුත් ස්ථාවරව” (Slow but Steady) යන ප්‍රතිපත්තිය මත පිහිටා එතුමා තෙල් ආදායම ජනතාවගේ යහපත උදෙසා ආයෝජනය කළේය.
1986 දී ඕමානයේ පළමු විශ්වවිද්‍යාලය ලෙස සුලාතාන් කාබූස් විශ්වවිද්‍යාලය ආරම්භ කළ අතර, අද වන විට ඕමානය ඉහළ සාක්ෂරතාවයක් ඇති රටකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පවා ඇගයීමට ලක්වූ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගූ අතර, සෑම දරුවෙකුටම නොමිලේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.
අද වන විට ඕමානය යනු ලෝක ආරක්ෂක දර්ශකයන්හි (Safety Index) ඉදිරියෙන්ම සිටින රටකි.
Numbeo 2025/2026 දත්ත වලට අනුව ඕමානය ලොව 5 වන ආරක්ෂිතම රටයි.
Gallup වාර්තාවන්ට අනුව රාත්‍රී කාලයේ තනිවම ගමන් කිරීමට ආරක්ෂිතම රටවල් අතර ඕමානය ලොව 4 වන ස්ථානය හිමිකරගෙන ඇත.
ඕමානයේ මෙම සංවර්ධන ගමනේදී ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ දායකත්වය අතිමහත්ය. පොලිස් සේවය , මූල්‍ය විශේෂඥයන්, දහස් සංඛ්‍යාත ලාංකික වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් ඕමාන රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරමින් කළ මෙහෙවරත් ඕමාන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.
Oman Vision 2040
2020 ජනවාරි 10 වන දින කාබූස් රජතුමා මෙලොව හැර ගියද, ඔහු දැමූ අඩිතාලම මත වත්මන් සුල්තාන් හයිතම් බින් තාරික් රජතුමා “ඕමාන් විෂන් 2040” හරහා රට තවදුරටත් ඉදිරියට ගෙන යයි.
මුළු අරාබි කලාපයටම සාමයේ පණිවිඩය රැගෙන ගිය, ශුන්‍යයේ සිට නවීනත්වය කරා සිය රට මෙහෙයවූ සුල්තාන් කාබූස් රජතුමා, ඕමාන ජනතාවගේ පමණක් නොව එහි වෙසෙන සමස්ත විදේශිකයන්ගේ ද හදවත් තුළ සදාතනික නායකයෙකු ලෙස ජීවත් වනු ඇත.
අන්තර්ජාලය ඇසුරින්
අනුර වීරකෝන්
ඕමානයේ සිට