අවුරුදු 200 සිට මේරටේ නිදහසට අයිතියක් නැති ජන කොටසක් ඉන්නවා..
” මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු ! ” මැයෙන් සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ ජනතා සමුළුව අද ( 2026. 02. 04 ) දින පෙරවරු 10.00ට හැටන් නගරයේදී ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ
” ඉඩම් නිවාස මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනාගමු කියන තේමාවෙන් අද පැවැත්වෙන මේ ජනතා සමුළුව දැකලා කම්පනයට පත් නොවෙන කෙනෙක් ඉන්නවනම් ඔහු මනුෂ්‍යයෙක් වෙන්න බැහැ. අද මේ රටේ 78වෙනි නිදහස සමරණවා. හැබැයි ඒ නිදහසට අයිතියක් නැති ජන පිරිසක් අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ මරණ සහතිකය පවා වලංඟු වෙන්නේ වතු අධිකාරිය අත්සන් කළොත් විතරයි. මේ මලෛයහ තමිල් ජනතාව තමයි අවුරුදු 200ක් තේ දලු කඩලා මේ රටේ ආර්ථිකය ගොඩ දැම්මේ. අතේ කරගැට එනකල්, ලේ කඳුළු දහදිය වගුරවගෙන තේ දලු කඩපු ඒ ජනතාවට අදටත් තමන්ගේ කියලා ඉඩමක්, නිවසක් නැහැ. මේ රටේ අනිත් මිනිස්සුන්ට හිමි අධ්‍යාපනයේ සමාන අවස්ථාව සෞඛ්‍යයේ සමාන අයිතිය ලැබෙන්නේ නැහැ.
එදා ඉඳලා පාලකයෝ කලේ ඡන්දය ගන්න ඔබව පාවිච්චි කරපු එක විතරයි. ඡන්දෙන් පස්සෙ ඒ කවුරුවත් වතුකරය දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. ඒක නිසාම මේ රට ඇතුළේ ඔබ හැමදාමත් ජීවත් වෙන්නේ පීඩාවෙන්. ඉගෙන ගන්න ගියත්, ලෙඩකට බෙහෙත් ගන්න ගියත්, රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියත් මලෛයහ තමිල් ජනතාව හැමවෙලාවෙම විශේෂ වෙනස්කමකට භාජනය කරලා තමයි මේ රටේ පාලනය කටයුතු කරන්නේ. දැන් අවුරුදු 200ක් තිස්සේ අපි මේ පීඩාව වින්දා ඇති. අපි හිතනවා මේ රටේ අනෙක් සියලු පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් සියල්ල ඔබටත් ලැබෙන්න ඕන. ඒ අයිතිය අපිට නිකම් බන්දේසියක තියලා පාලකයෝ පිළිගන්වන්නේ නැහැ. ඒ අයිතිය දිනාගැනීම කරන්න පුලුවන් අරගලයකින් විතරයි. සටනකින් විතරයි. නමුත් ඒ සඨන මලහෛ තමිල් ජනතාවට තනිව කරන්න පුලුවන් කමක් නැහැ. මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප, ඇතුළු අයිතීන් දිනාගැනීමේ අරගලය සඳහා මේ රටේ සිංහල දමිළ මුස්ලිම් සියළු ජනතාවත් සඨන් කරන සියලු බලවේගත් ඒකරාශි කරගත් මහජන බලයක් අපි ගොඩනගන්න ඕන. ඒ සඳහා එකතුවෙන්න කියලා මේ ඓතිහාසික සමුළුව දවසේ අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. “