අත් නොහැර සටන් වදිමු..

” මලෛයහ තමිල් ජනතාවනි අත් නොහැර සටන් වදිමු ! ” තේමාවෙන් මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පෙබරවාරි 4 දා පැවැත්වීමට නියමිත ජනතා සමුලුව ප්‍රකාශයට පත් කිරීමේ
මාධ්‍ය හමුවක් අද ( 2026. 01. 21 ) දින දවල් 12.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැතිවිණි. සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනතා ව්‍යාපාරය එය සංවිධානය කර තිබූ අතර වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එයට සහභාගී විය.

     එහිදී අදහස් දැක්වූ Youth For Chenge සංවිධානයේ සංවිධායක ලේකම් ළහිරු වීරසේකර

" පසුගිය දවසක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා මේ රටේ ආර්ථිකය දැන් ශක්තිමත් වෙලා තියෙන්නේ භාණ්ඩාගාරය උතුරා යමින් තියනවා කියලා. හැබැයි ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන මැදිහත්වීමක් කරන මේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා තමන්ගේ ශ්‍රමය වැය කරන කොටින්ම තමන්ගේ ජීවිතය පවා පරදුවට තියපු ජනතාවක් ඉන්නවා මලහෛ තමිල් එහෙම නැත්තම් වතු කම්කරු ජනතාව නමින්. අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු 200ක් තිස්සේ ඔවුන් මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න කඹුරනවා. හැබැයි කියන්න කණගාටුයි අදටත් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තමන්ට කියලා ඉඩමක් නිවසක් නැහැ. ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ දරුවන්ට පහසුකම් සහිත ඉස්කෝලයක් නැහැ. ලෙඩක් වුණාම බෙහෙතක් ගන්න රෝහලක් නැහැ. 
                       එහෙම තත්වයක් තියෙද්දි තමයි රටේ ජනාධිපතිවරයා තමන් දීපු පොරොන්දුවලින් 10/30 ක් ඉෂ්ට කළා කියලා කැම්පේන් කරමින් යන්නේ. ඒ කරපුවා මොනවද කියලා හොයල බැලුවා වෙනදා ආණ්ඩු වගේම රුපියල් 5000 ඒවා 10000 ඒවා බෙදපුවා තමයි කරලා තියෙන්නේ. හැබැයි  රටට ඩොලර් ටික හොයලා දෙන්න අවුරු 200ක් තිස්සේ කඹුරපු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1750ක් කරන වැඩේ තවම කරලා නැහැ. දැන් මේ අවුරුද්දේ ඔය 1750 දෙන්නං කියලා තමයි මේගොල්ලො ආණ්ඩුව ඇදගෙන යන්න සූදානම් වෙන්නේ. හැබැයි අපි දන්නවා පසුගිය කාලේ වතු කම්‍කරු වැටුප රුපියල් 1000ක් කරගත්‍තෙත් සඨන් කරලා. දැන් 1750 කරද්දි ඒකෙන් 200ක් තියෙන්නේ පැමිණීමේ දීමනාවක් විදිහට. හැබැයි වතු කම්කරුවෝ ඉල්ලුවේ ඒක නෙවෙයි. ඔවුන් ඉල්ලුවේ දෛනික අවම වැටුප රුපියල් 2000ක් කරන්න කියලා. හරි නම් මේ බදු බරත් එක්ක ඒ ගාණත් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ.  අද බදුල්ලෙන් නුවරඑළියෙන් පාර්ලිමේන්තු ආව සමන්ත විද්‍යාරත්නලට අම්බිගලාට තමන් ආවෙ මොකටද කියලා මතක නැහැ. මේ මලහෛ තමිල් ජනතාව තමයි ඔවුන්ව පාර්ලිමේන්තු එව්වේ. ඒ එව්වේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි ඒක කරන්නෙ නැතුව අද සමන්ත විද්‍යාරත්නලා අපි වතු කම්කරුවගේ මාසික වැටුප දහදාහක් කළා කියලා බොරු කියමින් යනවා. මේ මිනිස්සුන්ට මාසික වැටුපක් ලැබෙන්නෙ නැහෑ කියලා ඔහුට අමතක වෙලා. 
              අනික් පැත්තෙන් විපක්ෂය දැන් කිඹුල් කඳුළු හෙලමින් යනවා. ඒ කිඹුල් කඳුළු හෙලන අය තමයි ඡන්ද ටික ගන්න විතරක් මේ ජනතාවගේ බලාපොරොත්තු හීන අමු අමුවේ පාවිච්චි කළේ. හැම පෙබරවාරි 4 වෙනිදාකම ඔය කියන විපක්ෂයේ අය ආණ්ඩු කරද්දි අභිමානයෙන් නිදහස සැමරුවා. ඒගොල්ලන්ව එලවලා බලයට ගෙනාව මේ ආණ්ඩුවත් මේ පෙබරවාරි 4 වෙනිදා සූදානම් වෙනවා නිදහස සමරන්න. හැබැයි අදටත් නිදහස අහිමි කරපු වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. අපි දන්නවා පසුගියා ආපදාව වෙලාවේ වැඩියෙන්ම හානි වුණේ මේ වතු කම්කරුවන්ගේ ලැයින් නිවාස. හැබැයි නිත්‍යානුකූල ඔප්පුවක් නැති නිසා අද ඔවුන්ට ආණ්ඩුවෙන් දෙන සහන ටිකවත් ලබා ගන්න විදිහක් නැතිවෙලා.
කොහොමත් ඔය ගෙවල් කැඩෙන්න පටන් ගත්තේ දිට්වා ඇවිල්ලා නෙවෙයි. අවුරුදු 200ක් තිස්සේ මේ ලැයින් නිවාස තිබුණේ කැඩි කැඩී තමයි. ඒ කඩා වැටෙන ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න ඒකෙ අයිතිය තහවරු කරන්න අවශ්‍ය නීති ටික සම්පාදනය කරන්නවත් 159ක් මන්ත්‍රීදුර තියන ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවත් අසමත් කියලා. ඒ නිසා මේ රටේ කහට උගුරක් හරි බීපු මනුස්සයෙක් ඉන්නවනං පෙබරවාරි 4 වෙනිදා එන්න හැටන් නගරයට. මලහෛ තමිල් ජනතාවගේ නිදහස කෝ ? කියන ප්‍රශ්නය අරගෙන අපි පාරට බහිමු. ඒ සටන ඇතුළේ විතරයි ඒ ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න පුලුවන් වෙන්නේ. "

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *