සමස්ත ක්‍රියාවලිය පිළිබදව විමර්ශනයක් අවශ්‍යයි…………..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද, ජනවාරි 28 පස්වරුවේ කිරිබත්ගොඩදී පැවැත්විණි. එහිදී මාධ්‍ය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පහත අදහස් ඉදිරිපත් කලේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ පළකළ අදහස් වල වැරදි ගණනාවක් තිබෙනවා. මීට පෙර එම අදහස් විදුලිබල හා බලශක්ති ඇමතිවරයාත් පවසා තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා මීට පෙර අවස්ථා ගණනාවක ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය කර, දඩ අයකර ඒවා භාරගත් බව. එය වැරදියි. මීට පෙර දඩ අයකර භාරගෙන ඇත්තේ 5900 – 6050 KCal/kg ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු. 6050 – 6200 KCal/kg ශක්තිය සහිත ගල් අඟුරු අමතර දඩ නැතිව භාර ගන්නවා. නමුත් 5900 KCal/kg වලට වඩා ප්‍රමිතිය අඩු දඩ අයකර භාර ගන්නේ නෑ. එම අගයට කියන්නේ Reject value. ඒ කියන්නේ ප්‍රමිතිය ඊට අඩුනම් ප්‍රතික්ෂේප කරනවා. මිට පෙර Trafigura නම් ඉන්දුනීසියානු සමාගමක් එම ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය කර, එම තොගය ප්‍රතික්ෂේප කර නැව හරවා යවා, එම සමාගමේ ඇණවුමත් අවළංගු කළා. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ දඩයක් ගසා බාල ගල් අඟුරු භාර ගැනීම නොව, එය ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම ටෙන්ඩර් ගිවිසුමට අනුව නැව් දෙකක් තත්වයෙන් බාල වුවහොත් ඇණවුම අවළංගු වෙනවා. ඒ නිසා Trident Chemphar නම් මේ ඉන්දියානු සමාගම තවත් ආරක්ෂා නොකර ගිවිසුම ක්‍රියාවේ නැංවිය යුතුයි.
ඒ වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා ගල් අඟුරු පටවන වරායෙන් මේවා ප්‍රමිතියෙන් යුතු බව සහතික කර තිබෙනවා කියලා. එය සැක සහිතයි. මේ ගල් අඟුරු පටවනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ Richards Bay Coal Terminal එකෙන්. එහි නිල රසායනාගාරය SGS Laboratories එක. නමුත් පැටවීමේ ප්‍රමිති පරීක්ෂාව එම රසායනාගාරයෙන් නොකර, වාර්තා ගෙන තිබෙන්නේ Mithra SX නම් ඉන්දියානු රසායනාගාරයකින්. එම වාර්තා වල විශ්වාසනීය බව සැක සහිතයි. රජය ඒවා මත රඳා පැවතිය යුතු නෑ.
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු වලට දඩ අය කරන නිසා ආර්ථික අලාභයක් නොවන බවට කළ ප්‍රකාශයත් වැරදියි. දඩය අය කරන්නේ ටෙන්ඩර් ගිවිසුම කැඩීම නිසා. නමුත් මේ ගල් අඟුරු තොගයේ එක කිලෝග්‍රෑමයක ශක්තිය අඩු නිසා විදුලි ජනනය සිදුවන්නේ අඩුවෙන්. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 810MW නිෂ්පාදනය වෙනුවට පසුගිය 21 වැනිදා තුන්වන නැවේ ගල් අඟුරු වලින් නිෂ්පාදනය කර ඇත්තේ 715MW පමණයි. පැයට 100 MW ආසන්නයේ පවතින මෙම හිඟය සූර්‍ය විදුලිය නැති රාත්‍රී කාලයේ පියවාගන්න වෙන්නේ ඩීසල් වලින්. ඩීසල් බලාගාරයක එක විදුලි ඒකකයක් සඳහා පිරිවැය ගල් අඟුරු බලාගාරයකට වඩා සිව් ගුණයකින් පමණ වැඩියි. එය පැටවෙන්නේ විදුලි පාරිභෝගිකයා මත. ඒ වගේම මෙම ගල් අඟුරු තොගයේ අළු ප්‍රතිශතය වැඩි නිසා බලාගාරයේ යන්ත්‍ර වලට හානි වෙන්නත් පුළුවන්. එහි පිරිවැයත් අන්තිමට එකතු වෙන්නේ විදුලි බිලට. ඒ නිසා දඩ කන්නේ මේ සමාගම හෝ ඇමතිවරයා නෙවෙයි, විදුලි පාරිභෝගිකයන්.
දඩය පවා අයකර ගැනීම සැක සහිතයි. අදාළ ඉන්දියානු සමාගම නිකුත් කර ඇති රසායනාගාර වාර්තා පිලිනොගෙන තෙවැනි පාර්ශවයක් වෙත Umpire Sample එකක් යවන්න උත්සාහ කරනවා. ඒ යවන සාම්පලය ඔවුන්ගේ නැවේ ගල් අඟුරු සාම්පලයක් නොවී, නොරොච්චෝලේ තිබෙන ප්‍රමිතිසහගත ගල් අඟුරු තොගයේ සාම්පලයක් වුණොත් ප්‍රතිඵලය එන්නේ ප්‍රමිති ප්‍රශ්නයක් නෑ කියලා. අන්තිමට අපට ගල් අඟුරු වල ශක්තියත් නෑ, දඩ මුදලත් නෑ. මහදැනමුත්තා එලුවගේ බෙල්ලත් කපලා, මුට්ටියත් බින්දා වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා ඒ සාම්පලය තෝරා ගැනීමේ ක්‍රියාවලිය සියලු පාර්ශව වල සහභාගීත්වයෙන් පාරදෘශ්‍ය ලෙස කරන්න කියා අප ඉල්ලා සිටිනවා. මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *